Pages

Saturday, December 30, 2017

2017 වසර අවසානය සහ ඩෙංගු

කාලෙකින් බ්ලොග් එක මතක් උනා..දුකේ බෑ මේ අවුරුද්දටම එක පෝස්ට් එකයි,මම විතරක් නෙමේ, ගොඩක් බ්ලොග් නැති වෙලා. දැන් බ්ලොග් කියන එව්වත් අවසන් කාලෙ වගේ, නත්තලුත් ඉවර උනා 2017 ත් අවසන් දින දෙක.
                      මේ වසරේ දෙපාරක්ම ලංකාවට යන්න උනා, ගිය අවස්තා දෙකේම නෑදෑ කවුරු හරි ඩෙංගු ලෙඩ්ඩු වෙලා රෝහල් ගත වෙලා.එක පාරක් අවුරුදු 2 විතර අපේ පොඩි එකෙක්. ඩෙංගු හා සමානම වයිරස් උණ රෝගයක්, ඒ කාලෙම මගේ ලගම යහලුවෙකුත්. වියදම් කර ගන්න සල්ලි තිබුනත් පුද්ගලික රෝහල් වලට ලං වෙන්නවත් බැරි තරමට තදබදය,පොඩි එකාව පුද්ගලික රෝහලක ඉදලා, පොඩි එකාව පරීක්ශා කරපු,ප්‍රතිකාර කරපු ළමා රෝග පිළිබද වෛද්‍යතුමාම රජයේ රෝහලට ගෙනියන්න කීවා එයා රැකියාව කරන. මේ රෝහල පහු ගිය කාලෙ ඩෙංගු නිසා රෝගීන් අට්ටි ගහලා වගේ ඒ තරන් තදබදයක් තිබුනු රෝහලක්, අර යහලුවා උන්නෙත් මේකෙම තමා,ඇදක්වත් නැතිව, ඇත්තටම මේ රෝහලේ කාර්‍ය මණ්ඩලයට ස්තූතී කරලා මදි කන කට්ටට..
           දවසක් ඔය අපේ පොඩි එකා උන්නු වාට්ටුවෙ තරුණ වෛද්‍යතුමෙක් ළමයිව පරීක්ශා කරනවා. කැඩුනු අඩු එළියක් තියන ටෝච් එකකින් කණ පරීක්ශා කරනවා.එයාටම එපා වෙලාද කොහෙද ටෝච් එක පැත්තකින් දාලා දුරකථනයෙ ටෝච් එක ගැහුවා පස්සෙ, ලෙඩ්ඩු බලන වෙලාවක් නොවුනත් මමත් ඔය අපේ පොඩි එකාගෙ පියානෝත් ඔය වෙලේ වාට්ටුවට ගියා අපේ පොඩි එකාගෙ බඩු වගයක් අරන්, අර වෛද්‍යතුමත් අපිත් එක්ක හිනා උනාම මම නිකමට ඇහුවෙ ඩොක්ටර් ටෝච් එක කැඩිලා නේද කියලා,  එයත් හිනා වෙලා කියනවා, වාට්ටුවටම තියෙන්නෙ ඒ කැඩුනු ටෝච් එක විතරලු, ඒකත් පරිස්සම් කර ගන්නෙ හරි අමාරුවෙන්ලු වෙන වාට්ටු වලට අරන් යනවා කියලා,අපිටම දුක හිතිලා අපි ඇහුවා ටෝච් එකක් ගෙනත් දෙන්නද කියලා, අනේ පුලුවන් නම් ලොකු උදව්වක් කියලා එයා පස්සෙ අපිට ඒ අවශ්‍ය ටෝච් එක ලියලා දුන්නා,මහ ලොකු මුදලක් නොවුනු ඒක අපි ඒ වෙලේම ගෙනත් දුන්නම අපිට වාට්ටුවෙන්ම නොසෑහෙන්න ස්තූතියක් හම්බුනා.
      අර වෛද්‍යතුමා ටෝච් එකේ තිබුනු පටියෙන් බෙල්ලෙ එල්ලාගෙන සිනාවෙන්ම කීවෙ දැන් මේක පරිස්සම් කර ගන්න සෑහෙන මහන්සි වෙන්න වෙනවලු. මොකද වෙන වාට්ටුවල වෛද්‍යවරු ගෙනියන නිසා.
      දේශපාලකයො ගහන බයිලා හැටියට මේ රෝහල්වල තියන අඩුපාඩු කියලා නිම වෙන්නෙ නෑ. මේ කාලකන්නි රැල මොනා කරනවද කියලා හිතා ගන්න බෑ,
ඔය රෝහලේ ලෙඩ්ඩු අට්ටි ගහලා ඉන්නවා වගේම තට්ටු බිල්ඩිමක් පලාතෙ උන්නු දේශපාලකයගෙ ගසා කෑමක් නිසා ප්‍රයෝජනයක් ගන්න බැරි වෙලා තියනවා තාම, දැන් නොයෙක් නොයෙක් ප්‍රතිකර්ම කලත් පේන විදිහට ගොඩ ගන්න ලේසි වෙන එකක් නෑ, ඔය බිල්ඩිම දකිනකොට ඒකා මැරිලා ගිය එක ලොකු දෙයක් කියලා හිතෙනවා.
              අපේ රටෙන් මේ ඩෙංගු රෝගය නවත්තන්න විසදුමක් පේන තෙක් මානෙක නෑ වගේ, මිනිස්සුන්ටත් ඒක දැන් පුරුද්දකට ගිහින්, සාමාන්‍ය හෙම්බිරිස්සාවක් ගානට වැටිලා, දැන් ආයෙත් වැස්ස ඉවර උනාම ආයෙ පටන් අරන්,මිනිස්සුන්ගෙ උවමනාවකුත් පේන්න නෑ ගෙවල් දොරවල් පිරිසිදුව තියා ගන්න. අප ජනතාවත් උත්සහ කරන්න ඕනා මේ ලෙඩේ නවත්ත ගන්න.
         ලබන්නාවු 2018 නව වසර නිරෝගී වසරක් ප්‍රාර්ථ්නා කරමින් මම සමුගන්නවා.2018 නැවත හමුවෙමු...



Wednesday, April 5, 2017

ළදු අකුලෙන් දීග ගිය නෝනා

             



             උදෑසන 9.30 ට පමන මා පයිල් කවරයත් අතැතිව පිළිගැනීමේ නිළදාරිනිය කී කලු පාට කල වීදුරු කාමරය වෙත ගියෙමි. ඇතුලට එබී බලන විටම ජායා පිටපත් මැශිම අසල උන් තරුනයා මට අණ කලේ හා හා ඔතනින් වාඩි වෙන්න අපි කතා කරන්නම්.තව 3 , 4 දෙනෙකු සමගින් කලු වීදුරුව අසලින් කාමරයේ එලියේ මමද ඊළග පුටුවේ හිද ගත්තෙමි.   
     සදුදා උදෑසන නිසා කාර්‍යාලය පුරා මිනිසුන් පිරී පවතී.කාර්‍යාලය කාර්‍යබහුල වී ඇත.නොයෙක් නොයෙක් අංශ වල මිනිසුන් තමන්ගේ වාරය පැමිනෙන තෙක් හිද බලාගෙන සිටී,බොහෝ අය තමන්ගේ ස්මාර්ට් දුරකතන එළියට අරගෙන තිරය මත ඇගිළි එහා මෙහා යවමින් සිටී,කාර්‍යාල සේවකයින් පරිඝනක තිර මත මුව ඔබාගෙන සිටී. තවත් කාර්‍යාල සේවකයින් මේසය අනෙක් පස හිද සිටින සේවා බලාපොරොත්තුවෙන් සිටින මිනිසුන්ගෙන් නොයෙක් ප්‍රශ්න අසයි, ලියකියවිලි ඉල්ලයි. මාද ස්මාර්ට් දුරකතනය එළියට ගත්තද අසල සිටින වයස 60 විතර වෙන මිනිසා මගේ දුරකතනයට එබෙන නිසා මා නැවතත් දුරකතනය සාක්කුවට දමා ගතිමි. 
         අප රැදී සිටින කොටසේ දොරෙන් කෙනෙක් පිටත් වනවාත් සමග ඇතුලේ උන් තරුනයා කට හඩ අවදි කරයි, ඊලග කෙනා ඇතුලට එන්න. එම කොටස තුළ ප්‍රදාන මේසය යැයි කිව හැකි මේසය අසල වයස 40,45 පෙනුමැති පොඩ්ඩක් තරබාරු ප්‍රසන්න පෙනුමැති කාන්තාවකි.අනෙක් මේස 4 හි තවත් තරුන කාන්තාවන් 3ක් සහ එක තරුන පිරිමියෙක් හිද ගෙන සිටී. ඊට අමතරව අර ජායා පිටපත් කරන තරුනයාය.
     පැයකට පමන පසු මට පෙර සිටි මිනිසා දොර අසලය ඊළග වාරය ඔහුටය. තව කෙනෙක් එළියට පිටව ගියද මෙවර අර තරුණයාගේ ඊලග කෙනා එන්න කටහඩ ඇසුනේ නැත.ඒ වෙනුවට ඇතුලේ උන් කාන්තාවකගේ කට හඩ යම් පමනින් ඇසුනි. 
       ඒ අපට කතා කිරීම නොවේ ඔවුන්ගේ කතාවක්‍ ය. අනුන්ගේ කතා ඇසීම කැත පුරුද්දකි නමුත් මගේ කණ අර කතාවට යොමු විය. බලන්නකො මිස් ඊයෙ රෑ අපිට නින්දක් නෑ නෙ . තවත් කෙනෙක්ගෙන් ඒ මොකද කුමුදු මිස් යන හඩය , අපේ ලේන් එකම නිදි නෑ, කට්ටියම අපේ අල්ලපු ගෙදර, අර ජායා පිටපත් තරුනයාගෙ කට හඩ පිට විය, මොකද මැඩම් උනේ... පාන්දර 3ට විතර ඇති අපේ අල්ලපු ගෙදරින් කෑ ගැහිල්ලක් ආවා හොරෙක් ඇල්ලුවෝ හොරෙක් ඇල්ලුවෝ කියලා,අපිත් ඉතින් ඒ ගෙදරට දිව්වා,යනකොට අපේ ලේන් එකම එතන, පස්සෙ අපේ මහත්තයයි තව පිරිමි දෙතුන් දෙනෙකුයි ගේ ඇතුලට ගියා, පොලු එහෙම අරන්, අපි ගෑනුත් එයාලා පස්සෙ ගේ ඇතුලට ගියා, ගෙදර කෙල්ලගෙ කාමරේ ඇද යට එකෙක් යට ඇදුම පිටින්, තව කාන්තාවකගේ කට හඩ ඇසුනි ආ කුමුදු මිස් හොරු යට ඇදුම් පිටින්....කෙල්ලගෙ තාත්තා පොල්ලක් අරන් එළියට වර කිය කියා කෑ ගහනවා කෙල්ල අනේ තාත්තේ එයාට ගහන්න එපා කියලා අඩනවා, බලන්නකො අද කාලෙ හැදෙන කෙල්ලන්ගෙ හැටි, ඕකි ඉන්නෙ නම් 1000 ගනන් කරන්න බැරි ගානට පාරෙ යන්නෙ ගල් අහුලන්න වගේ බිම බලාගෙන, පන්ති යනවා කියලා රෝන්දෙ ගහනවා මගෙ ඇස් දෙකටම දැකලා තියනවා මම ඉතින් මහ උන්දැට ඔව්වා කීවෙ නෑ, කීවා නම් උන්දෑ කියන්නෙ අපේ දුව එහෙම නෑ හරි හැදිච්ච දරුවා, ඔය හැදිලා තියෙන්නෙ එකෙක් ගේ ඇතුලට දාගෙන ගෙදර තව මිනිස්සු ඉන්නවා කියලා බලන්නෙත් නැතුව. ලස්සනට තියෙන්න ඇති නේ මිස් නොමිලේ පිචර් එකක්... අනෙක් තරුන පිරිමි කට හඩින් මට ඇසුනි.
       මා අසල උන් මිනිසා දෙස බලන කොට ඔහුද මේ ඇතුලේ කතාවට කන් දීගෙන සිටින බව මට දැනුනි. ඉතින් මිස් ඊළගට මොකද උනේ, අපේ මහත්තයලා එකතු වෙලා අර කොල්ලව එලියට ගත්තා, බලන්නකො මූ එළියට ආවා මකුණු දැල් දූවිළි නාගෙන, ඌ අඩනවා අනේ ගහන්න එපා මම හොරෙක් නෙමේ කිය කියා, අපේ අල්ලපු ගෙදර අම්මණ්ඩි කෙල්ලව බෙල්ලෙන් අල්ලන් මරන්න හදනවා තෝ අපේ පවුලේ දැළි ගෑවා කිය කියා, මහ මිනිහයි කොල්ලයි අරූට ගහන්න හදනවා, අපේ මහත්තයලා 119 කතා කළා පොලිසියට බාර දෙන්න අරූට ගහන්න නොදී .. 
     බලන්නකො මිස් අද කාලෙ මුන් හැදෙන හැටි අපේ කාලෙ නම් අපිට කොල්ලෙක් තියා අපේ අම්මලා අපිට ගෙදරින් එළියට යන්න දුන්නෙ නෑ, අනෙක් කටහඩවල් ඇසුනද මට පැහැදිලිව ඇසුනේ මේ කතාව පමනි.         
කෙටි නිහඩතාවයත් සමග ජායා පිටපත් කොලුවාගේ කට හඩ අවදි විය ඉතින් මැඩම් පොලිසිය ආවද, ඔව් පැය බාගෙකට පස්සෙ ආවා, මහ මිනිහා පොලිසියට විස්තරේ කීවා, පස්සෙ පොලිස් කාරයෙක් අරූගෙ බෙල්ලෙන් අල්ලලා මොකටද තෝ ආවෙ කියනකොට මූ කිවුවා නෙ කෙල්ලව පෙන්නලා මෙයයි මට එන්න කිවුවෙ , මම හොරෙක් නෙමේ මෙයා එක්ක යාළු වෙලා ඉන්නෙ කියලා... මහ අම්මණ්ඩි සද්ද නෑ හොද වැඩේ අලි ඔලුවෙන් උන්නෙ ඔය ගෑණියි දුවයි. ඔය කෙල්ලව ඉතින් ඒ කොල්ලටම තමා දෙන්න වෙන්නෙ නේද කුමුදු මිස් තව ගෑණු කට හඩකින් ඇසුනි. නැතුව මමත් මහ අම්මණ්ඩිට කිවුවා ඔන්න ඔය කොල්ලා ගැන හොයලා බලලා මොකක් හරි කරලා දාන්න කියලා දැන් කෙල්ලව ගෙදර තියන් ඉදලා කාට දෙන්නද...මහ අම්මණ්ඩි සද්ද නෑ රැස් බැහැලා කියා හිනා හඩක් ඇසුනි...කොල්ලගෙ ඇදුනුත් අන්දවන් පොලිසිය අරන් ගියා ජීප් එකේ දාගෙන , උදෙන්ම අල්ලපු ගෙදර අයටත් පොලිසියට එන්න කියලා... උදේ ඒ පැත්තෙන් සද්දයක් නෑ දැන් ඉතින් මුලු ගමම දන්නවා රෑ උනු නාඩගම..කට්ටිය පොලිසියට යන්න ඇති මොනා උනාද දන්නෙ නෑ හවස ගෙදර ගියාම හොයලා බලන්න ඕනා මොකද උනේ කියලා....
        කෙටි නිහඩතාවෙකින් පසු මා අසල උන් මිනිසා මා වෙත ළං වී ඔහුගේ කට හඩ අවදි විය.... ඔය ලොකු නෝනා අපේ ගමේ ස්කෝල මහත්තයගෙ දුව, මීට අවුරුදු 20 , 25 ඉස්සල්ලා එයාව ස්කෝල මහත්තයලා හොයා ගත්තෙ ගේ පිටිපස්සෙ ළදු කැලෑවක ඉදලා කොල්ලෙක් එක්ක, පස්සෙ ඒ කොල්ලටම දීග දුන්නා හොක් හොක් හොක්..... ඊලග කෙනා එන්න.......මා අසල සිටි මිනිසා ඇතුල් වෙනකොටම ආ සෝමසිරි අයියා දැකපු කල් එන්න වාඩි වෙන්න මොකද මේ පැත්තෙ.....
           (නම්,ගම් මනංකල්පිත වේ...සීන් එක ඇත්තවේ)