නව වසරේ පළමු ලිපිය,ඉස්සල්ලම සියලුම දෙනාට සුභ නව වසරක් කියලා සුභ පතලම ලිපිය ලියන්න ගන්නම්,පහු ගිය දවස් වල ඉතින් උත්සව කාලෙ නේ පහු කලේ,,කතෝලිකයෙක් විදිහට මමත් නත්තල සැමරුවා.නත්තල එක්ක බැදී තියෙන කැරොල් ගීත අපිට කවදාවත් අමතක කරන්න බෑ,දයානන්ද මහත්මයා ලියන අස්වැන්න බ්ලොග් එකේ කැරොල් ගීත පිළිබද පෝස්ට් එක කියවලා තමා මේ පෝස්ට් එක ලියන්න හිතුවේ,, කැරොල් ගීත එක්ක ලගින්ම බැදී තියන චරිතය පන්සලේ පියතුමා මර්සලින් ජයකොඩි පියතුමා,මම අහලා තියන විදිහට පල්ලියට වඩා පන්සල් එක්ක ගැවසුනු නිසාලු පන්සලේ පියතුමා කියලා නමත් පට බැදුනේ,එතුමා ගැන කෙටියෙන්ම කියනවා නම් කියන්න තියෙන්නේ
එතුමා බුදු දහමට ගරු කරපු සිංහලකමට ගරු කරපු කතෝලික පූජක වරයෙක්
සංගීතඤයෙක්,ලේඛකයෙක්,පත්‍රකලාවේදියෙක් ඒ ඔක්කොටම වඩා ජාති මාමකයෙක්
එතුමා ගැන පුංචි විස්තරයක් මෙන්න
නම -මර්සලින් ජයකොඩි
උපන් දිනය -1902 ජූනි 03
උපන් ගම -හලාවත මාදම්පේ
පියා -ජෝශප් ජයකොඩි(මාදම්පේ)
මව -ජොසපින් සේනාරත්න(සදලංකාව)
අධ්යාපනය- මාදම්පේ විදුහල/ශාන්ත ජෝශප් විද්‍යාලය(මරදාන)/අම්පිටිය දෙව්සත් හල/
ශාන්ති නිකේතනය(ඉන්දියාව)/අලහාබාද් විශ්ව විද්‍යාලය(ඉන්දියාව)
ගුරුවරයෙක් ලෙස-
ශාන්ත ජෝශප් විද්‍යාලය(මරදාන)
ශාන්ත පීටර් විද්‍යාලය (බම්බලපිටිය)
ශාන්ත පැට්‍රික් විද්‍යාලය (යාපනය)
සම්මාන- කලාසූරී සම්මානය (ටවර්හෝල් පදනම)
රාජ්ය සාහිත්ය සම්මානය(මුතු කාව්ය සදහා)
මැග්සෙයි සම්මානය-පිලිපීනය
කාව්්‍ය මහෝපාධ්යාය -සමස්ත ලංකා සිංහල කවි සම්මේලනය
කිතු නන්දන සම්මානය-කතෝලික සභාව
කාව්ය ශ්‍රාස්ත්‍ර ශිරෝමනී-විද්යාලංකාර මහා පිරිවෙන
ලියා ඇති පොත්-
වයිරා හීනෙන් බය වෙලා
මී පැංචා
අජාසත්තගේ පුතා
කළගුණ
මාතු පාදං නමාමි
අබ රුක් සෙවන
බංකුව යටින්
යුතුකම
මහා කළු සිංහලයා
නෙළුම් කුමාරි
ගෙබි පැටියා සහ නෙළුම් මල
ගෙදරදීම හැදී ආ හාමුදුරුවෝ
පැණි වරකා
ඉතිහාසයේ මලලසේකර ලකුණ
කිරි අම්මගේ වැලපිල්ල
මුල්ම අධ්යාපන ඇමති කන්නන්ගර මමයි
ජනනායක පොඩිත්තා
ස්වර්ගස්ථ වු දිනය-1998 ජනවාරි
මෙතුමා මොන වගේ කෙනෙක්ද කියන එක එතුමාගේ කියමන් වලින්ම ඔයාලට හිතා ගන්න පුලුවන්,මේවා සියල්ල එතුමාගේ චරිතාපදානය මල් පැලේ උපන් පන්සලේ පියතුමා පොතෙන් උපුටු ගත් දේවල්.
මගේ ආගම - ක්‍රිස්තියානි
මගේ ජාතිය - ශ්‍රී ලාංකික
මගේ සංස්කෘතිය - බෞද්ධ
“ඉතින් කවුරුහරි මට පන්සලේ
පියතුමා කියා කියනව නම් මා ඒ ගැන වඩාත් සතුටු වෙනවා. අප කතෝලිකයන් වශයෙන්
මේ රටේ සුළු පිරිසක්. නමුත් අප ඒ නිසාම වෙන්වී සිටිය යුතු නැහැ. භික්ෂුන්
වහන්සේලාත් එක්ක එකතුවී කටයුතු කරනවා නම් මේ රට, ජාතිය, සංස්කෘතිය ඉතා හොඳ
දියුණු තත්ත්වයකට පත්වේවි.”
දළදාව වැඳ පුදාගත් ලංකාවේ එකම කතෝලික පූජකවරයා ජයකොඩි පියතුමා යැයි මම හඟිමි. එය සිදුවූයේ මෙසේ ය.
වරක් මහාචාර්ය කුඹුරුගමුවේ වජිර හිමියෝ ‘දළදාව බලන්න යමුදැයි’ ජයකොඩි පියතුමාගෙන් ඇසූහ. එවිට උන්වහන්සේ ඉතා කැමැත්තෙන්ම ඊට ඉදිරිපත් වූහ.
දළදාව වැඳපුදා ගැනීමට ගිය ගමනේදී උන්වහන්සේ එවක ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන
නිලමේ වූ නිරංජන් විජේරත්න මහතා හමුවූ අවස්ථාවත් අස්ගිරි පාර්ශවයේ
අතිපූජ්‍ය පලිපාන චන්දානන්ද මහනාහිමියන් හමුවූ අවස්ථාවත් දැක්වෙන ඡායාරූප
කීපයක් මම දැක ඇත්තෙමි.
අපේ දළදා වහන්සේ පිළිබඳ ජයකොඩි පියතුමා අදහස් දක්වා ඇත්තේ මෙලෙසය.
“දළදාව කියන්නේ අපේ රටේ තිබෙන ලෝක පූජිත ජාතික වස්තුවක්. අපේ ඉතිහාසයත්
එක්ක දැඩි සේ සම්බන්ධ, අපේ සංස්කෘතික අනන්යනතාව අවුරුද්දක් පාසා අදත් මුළු
ලෝකයටම කියාපාන පූජනීය වස්තුවක්. ලංකාවේ පමණක් නෙවේ ලෝකයේමත් බෞද්ධයන් ගරු
කරන වස්තුවක්.
ඉතින් සිංහලයන් හැටියට අපිත් ගිහින් ඒවට සහභාගි වී ඒ ගැන අවබෝධයක් ලබන එක,
බලා කියා ගන්න එක වරදක් ද? ලංකාවේ උපන් කෙනකු හැටියට, සිංහලයකු හැටියට මගේ
රටට අයිති ජාතික වස්තුවකට ගෞරවය පුද කළාම තියෙන වරද මොකද්ද?”
පිරිවෙනකින් ගෞරව සම්මානයක් හිමිකර ගත් ලංකාවේ එකම කතෝලික පූජකවරයා ජයකොඩි පියතුමා වන්නේ ය. ඒ පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙනිනි. එයින් උන්වහන්සේට ‘කාව්‍ය ශාස්ත්‍ර ශිරෝමණි’ සම්මානය පිරිනමන ලදි.
එතුමාගේ අතින් ලිය වුනු කවි කිහිපයක්
පන්සිය වසක් අප ආපසු යන දා ට
හෙළදිව පෙනේ කොත්රැළිවල සුදු පාට
එවකට අපේ මුත්තණු සඳ ඇති රෑට
මාලති මල් නෙළාගෙන යති බුදු ගේට
“අපේ සාහිත්‍යය ආවේ පන්සලෙන්නේ... පන්සල් තිබුණු නිසා තමයි සිංහලකම රැකුණේ; සිංහල සාහිත්‍යය රැකුණේ.”
පන්සලටය පෙර පරපුර අකුරු ගියේ
සිවුරෙන් අපේ රට රැකුණා අඳුරු පැයේ
අප හෙළ ගතිය වැඩුණේ පන්සලෙයි පියේ
අද වනතුරුම සිවුරේ පඬු ගතිය තියේ
මෙහි බුදුන්ගේ පා තබා ඇත වන්දනීයයි සිරිපාදය
රැයෙත් උදයෙත් මිහිරියාවයි ඇසේ රැව්දෙන සාදු නාදය
පියේ මේකයි දම්ම දීපය මුතු බඳින්නේ අපේ මූදය
මෙහෙම ලස්සන වෙන රටක් නැත ඇයට කොයි රට වුව පරාදය
‘වෙහෙර’ යනුවෙන් ලියූ කවියක උන්වහන්සේ ඇස යන යන තැන පෙනෙන්ට ප්‍රාර්ථනා කළේ පල්ලි නොව වෙහෙරකි. ඒ කවියෙන් අර්ධයක් මෙසේ ය.
ඇස යන යන තැන වෙහෙරක් පෙනීයන්
වෙහෙරක් නැති තැන වෙහෙරක් තැනීයන්
ඉන් එන පණිවිඩය නුවණට දැනීයන්
දුටු දුටු විට සිත් තුළ සිල් ගැනීයන්
වෙසක්, පොසොන් වැනි බෞද්ධ ගීත
ලිවීම නිසාත් බෞද්ධාගම, බෞද්ධ භික්ෂුන් වහන්සේ නිර්භයව ඇගැයීම නිසාත්
මූලධර්මවාදින්ගේ පටු ගර්හාවට ජයකොඩි පියතුමා ලක්වූ වාර අපමණය. එක් අවස්ථාවක
උන්වහන්සේ වෙත ලිපියක් එවූ ධර්මෝන්මාදියකු ඉන් කියා සිටීයේ ලෝගුව ගලවා
සිවුරක් පොරවා ගන්නා ලෙසය. උන්වහන්සේ එම මතවලට කදිම පිළිතුරක් දී ඇත. එය
පාලිත සමරසිංහ සමඟ කළ ගුවන්විදුලි කතාබහේදී උන්වහන්සේ කියා ඇත්තේ මෙපරිදිය.
“ඉතින් මමත් ලියලා ඇරියා, මම ලෝගුවටත් ආදරෙයි, සිවුරටත් ආදරෙයි. මේ දෙකම
ආගමික සංකේත පමණක් ය මට ඒකත් හොඳයි මේකත් හොඳයි. දැනට මේක ඇඳගෙන ඉන්නවා.
අරකත් ඕනැ වුණොත් ඉස්සරහට ඒකත් අඳිනවා කියලා.”
ජයකොඩි පියතුමාගේ සුවිශිෂ්ට
බෞද්ධ නැඹුරුව මෙරට කතෝලික සභාවේද උදහසට ලක්වූ ආකාරයක් පෙනී යයි. එසේ
සිතෙන්නේ උන්වහන්සේම කියා ඇති දෙයකිනි.
“රේඛාවේ ගීතවලට සම්මාන ලැබෙද්දි ඒක ගන්න යන්න වාහනය දුන්නේ නැහැ. ආවෙත් ගියෙත් ටැක්සියෙන්.”
කෙසේ වෙතත් ආගම යනු අන් කිසිවක් නොව ආදරයයි. එය උන්වහන්සේ කවියට නඟා අපූරුවට ප්‍රකාශ කළේ මෙලෙසිනි.
කොයි හංවඩුව ඇතිවුව ආගමැයි කියා
කොයි පණිවිඩය තිබිණි ද බයිබලේ ලියා
ආදරයයි ආගම යනු හිතේ තියා
මල් ගෙන පුදමි ඒ ආගම ලොවේ සොයා
මේ උපුටා ගත් දේ වලින් එතුමාට පන්සලේ පියතුමා කිවුවේ මොකද කියලා හිතා ගන්න පුලුවන් නේ,ඒ එක්කම මෙතුමා මොන වගේ කෙනෙක්ද කියලත් හිතා ගන්න පුලුවන්,
සමස්ත ලංකා කවි සම්මේලනයේ සභාපති වශයෙන් පත් වුවායින් පසු කල කතාවේ කොටසක්
"මා කතෝලික පූජකවරයෙක්.ඒක ප්‍රකට දෙයක්.මෙතැන සිටින එකම කතෝලිකයා මමයි.එහෙව් එකේ මෙතැන සිටින බෞද්ධයන්
අතර-මේ විහාරස්ථානයේදී මා සභාපතිකමට සුදුසු වු හැටි විස්තර කරන්නට මම
කැමතියි.මම කතෝලික පූජකවරයෙක් වුණත් මගේ ශාසනයට පුළුවන් මර්සලින් උඔ අද සිට
පල්ලියෙන් ඉවත් කළා කියලා කියන්න.මේ මගේ ලෝගුව පල්ලියට ගන්න පුළුවන්.මේ
මගේ කුරුසිය පල්ලියට ගන්න පුළුවන්.ඒත් මගේ එක් දෙයක් තියෙනවා.ඒක වෙන කාටවත්,පල්ලියටවත් ගන්න බැහැ,ඒක තමා මගේ සිංහලකම.මම හොඳ සිංහලයෙක්,මාව මෙතැනට සුදුසු වුණේ මගේ ඒ සිංහල කම නිසයි."
එතුමා පිලිපීනේ මැග්සෙයි සම්මානය ලබාගන්න ගිය වෙලේ එතන අවසන් පරීක්ශනේදී ඒ පරීක්ශන මණ්ඩලේ සාමාජිකයෙක් අහලා තියනවා ඔබතුමාගේ දීර්ග කාලීන සාහිත්‍ය සේවාවෙන් කොපමන ප්‍රමානයක් කතෝලිකයන් ලෙස හරව ගන්න පුලුවන් උනාද කියලා,එතුමා දීලා තියන පිලිතුර තමා
”මම කිසිම කෙනෙක් එහෙම මගේ ආගමට හරවා ගන්න
උත්සාහ කරලා නැහැ. මා කළ එක ම කාර්යය තමා මට
හමුවන සියලු දෙනාගේ ම හදවතේ තිබෙන පහන
දැල්වීමට උත්සාහ කිරීම. ඒක මම මට පුළුවන් තරම්
හොඳින් කළා. එපමණයි.”
ඉදිරියේදී එතුමා ලංකාවේ සාහිත්‍ය වෙනුවෙන් කරපු සේවය ගැන පොඩි ලිපියක් ලියන්න හිතන් ඉන්නවා එහෙනම් එතුමා නත්තල වෙනුවෙන් ලියපු කවියකින් මේ ලිපිය අවසන් කරන්නයි යන්නේ
මගෙ නත්තල දුගියා බත් කන දාය
මගෙ නත්තල වැරහැලි නැති වන දාය
මගෙ නත්තල ඔබෙ දුක සැනසෙන දාය
මගෙ නත්තල මඬු පල්ලියට යන දාය
(උපුටා ගැනීම සිළුමිණ පුවත්පත සහ මල් පැලේ උපන් පන්සලේ පියතුමා පොත)