Pages

Saturday, December 30, 2017

2017 වසර අවසානය සහ ඩෙංගු

කාලෙකින් බ්ලොග් එක මතක් උනා..දුකේ බෑ මේ අවුරුද්දටම එක පෝස්ට් එකයි,මම විතරක් නෙමේ, ගොඩක් බ්ලොග් නැති වෙලා. දැන් බ්ලොග් කියන එව්වත් අවසන් කාලෙ වගේ, නත්තලුත් ඉවර උනා 2017 ත් අවසන් දින දෙක.
                      මේ වසරේ දෙපාරක්ම ලංකාවට යන්න උනා, ගිය අවස්තා දෙකේම නෑදෑ කවුරු හරි ඩෙංගු ලෙඩ්ඩු වෙලා රෝහල් ගත වෙලා.එක පාරක් අවුරුදු 2 විතර අපේ පොඩි එකෙක්. ඩෙංගු හා සමානම වයිරස් උණ රෝගයක්, ඒ කාලෙම මගේ ලගම යහලුවෙකුත්. වියදම් කර ගන්න සල්ලි තිබුනත් පුද්ගලික රෝහල් වලට ලං වෙන්නවත් බැරි තරමට තදබදය,පොඩි එකාව පුද්ගලික රෝහලක ඉදලා, පොඩි එකාව පරීක්ශා කරපු,ප්‍රතිකාර කරපු ළමා රෝග පිළිබද වෛද්‍යතුමාම රජයේ රෝහලට ගෙනියන්න කීවා එයා රැකියාව කරන. මේ රෝහල පහු ගිය කාලෙ ඩෙංගු නිසා රෝගීන් අට්ටි ගහලා වගේ ඒ තරන් තදබදයක් තිබුනු රෝහලක්, අර යහලුවා උන්නෙත් මේකෙම තමා,ඇදක්වත් නැතිව, ඇත්තටම මේ රෝහලේ කාර්‍ය මණ්ඩලයට ස්තූතී කරලා මදි කන කට්ටට..
           දවසක් ඔය අපේ පොඩි එකා උන්නු වාට්ටුවෙ තරුණ වෛද්‍යතුමෙක් ළමයිව පරීක්ශා කරනවා. කැඩුනු අඩු එළියක් තියන ටෝච් එකකින් කණ පරීක්ශා කරනවා.එයාටම එපා වෙලාද කොහෙද ටෝච් එක පැත්තකින් දාලා දුරකථනයෙ ටෝච් එක ගැහුවා පස්සෙ, ලෙඩ්ඩු බලන වෙලාවක් නොවුනත් මමත් ඔය අපේ පොඩි එකාගෙ පියානෝත් ඔය වෙලේ වාට්ටුවට ගියා අපේ පොඩි එකාගෙ බඩු වගයක් අරන්, අර වෛද්‍යතුමත් අපිත් එක්ක හිනා උනාම මම නිකමට ඇහුවෙ ඩොක්ටර් ටෝච් එක කැඩිලා නේද කියලා,  එයත් හිනා වෙලා කියනවා, වාට්ටුවටම තියෙන්නෙ ඒ කැඩුනු ටෝච් එක විතරලු, ඒකත් පරිස්සම් කර ගන්නෙ හරි අමාරුවෙන්ලු වෙන වාට්ටු වලට අරන් යනවා කියලා,අපිටම දුක හිතිලා අපි ඇහුවා ටෝච් එකක් ගෙනත් දෙන්නද කියලා, අනේ පුලුවන් නම් ලොකු උදව්වක් කියලා එයා පස්සෙ අපිට ඒ අවශ්‍ය ටෝච් එක ලියලා දුන්නා,මහ ලොකු මුදලක් නොවුනු ඒක අපි ඒ වෙලේම ගෙනත් දුන්නම අපිට වාට්ටුවෙන්ම නොසෑහෙන්න ස්තූතියක් හම්බුනා.
      අර වෛද්‍යතුමා ටෝච් එකේ තිබුනු පටියෙන් බෙල්ලෙ එල්ලාගෙන සිනාවෙන්ම කීවෙ දැන් මේක පරිස්සම් කර ගන්න සෑහෙන මහන්සි වෙන්න වෙනවලු. මොකද වෙන වාට්ටුවල වෛද්‍යවරු ගෙනියන නිසා.
      දේශපාලකයො ගහන බයිලා හැටියට මේ රෝහල්වල තියන අඩුපාඩු කියලා නිම වෙන්නෙ නෑ. මේ කාලකන්නි රැල මොනා කරනවද කියලා හිතා ගන්න බෑ,
ඔය රෝහලේ ලෙඩ්ඩු අට්ටි ගහලා ඉන්නවා වගේම තට්ටු බිල්ඩිමක් පලාතෙ උන්නු දේශපාලකයගෙ ගසා කෑමක් නිසා ප්‍රයෝජනයක් ගන්න බැරි වෙලා තියනවා තාම, දැන් නොයෙක් නොයෙක් ප්‍රතිකර්ම කලත් පේන විදිහට ගොඩ ගන්න ලේසි වෙන එකක් නෑ, ඔය බිල්ඩිම දකිනකොට ඒකා මැරිලා ගිය එක ලොකු දෙයක් කියලා හිතෙනවා.
              අපේ රටෙන් මේ ඩෙංගු රෝගය නවත්තන්න විසදුමක් පේන තෙක් මානෙක නෑ වගේ, මිනිස්සුන්ටත් ඒක දැන් පුරුද්දකට ගිහින්, සාමාන්‍ය හෙම්බිරිස්සාවක් ගානට වැටිලා, දැන් ආයෙත් වැස්ස ඉවර උනාම ආයෙ පටන් අරන්,මිනිස්සුන්ගෙ උවමනාවකුත් පේන්න නෑ ගෙවල් දොරවල් පිරිසිදුව තියා ගන්න. අප ජනතාවත් උත්සහ කරන්න ඕනා මේ ලෙඩේ නවත්ත ගන්න.
         ලබන්නාවු 2018 නව වසර නිරෝගී වසරක් ප්‍රාර්ථ්නා කරමින් මම සමුගන්නවා.2018 නැවත හමුවෙමු...



Wednesday, April 5, 2017

ළදු අකුලෙන් දීග ගිය නෝනා

             



             උදෑසන 9.30 ට පමන මා පයිල් කවරයත් අතැතිව පිළිගැනීමේ නිළදාරිනිය කී කලු පාට කල වීදුරු කාමරය වෙත ගියෙමි. ඇතුලට එබී බලන විටම ජායා පිටපත් මැශිම අසල උන් තරුනයා මට අණ කලේ හා හා ඔතනින් වාඩි වෙන්න අපි කතා කරන්නම්.තව 3 , 4 දෙනෙකු සමගින් කලු වීදුරුව අසලින් කාමරයේ එලියේ මමද ඊළග පුටුවේ හිද ගත්තෙමි.   
     සදුදා උදෑසන නිසා කාර්‍යාලය පුරා මිනිසුන් පිරී පවතී.කාර්‍යාලය කාර්‍යබහුල වී ඇත.නොයෙක් නොයෙක් අංශ වල මිනිසුන් තමන්ගේ වාරය පැමිනෙන තෙක් හිද බලාගෙන සිටී,බොහෝ අය තමන්ගේ ස්මාර්ට් දුරකතන එළියට අරගෙන තිරය මත ඇගිළි එහා මෙහා යවමින් සිටී,කාර්‍යාල සේවකයින් පරිඝනක තිර මත මුව ඔබාගෙන සිටී. තවත් කාර්‍යාල සේවකයින් මේසය අනෙක් පස හිද සිටින සේවා බලාපොරොත්තුවෙන් සිටින මිනිසුන්ගෙන් නොයෙක් ප්‍රශ්න අසයි, ලියකියවිලි ඉල්ලයි. මාද ස්මාර්ට් දුරකතනය එළියට ගත්තද අසල සිටින වයස 60 විතර වෙන මිනිසා මගේ දුරකතනයට එබෙන නිසා මා නැවතත් දුරකතනය සාක්කුවට දමා ගතිමි. 
         අප රැදී සිටින කොටසේ දොරෙන් කෙනෙක් පිටත් වනවාත් සමග ඇතුලේ උන් තරුනයා කට හඩ අවදි කරයි, ඊලග කෙනා ඇතුලට එන්න. එම කොටස තුළ ප්‍රදාන මේසය යැයි කිව හැකි මේසය අසල වයස 40,45 පෙනුමැති පොඩ්ඩක් තරබාරු ප්‍රසන්න පෙනුමැති කාන්තාවකි.අනෙක් මේස 4 හි තවත් තරුන කාන්තාවන් 3ක් සහ එක තරුන පිරිමියෙක් හිද ගෙන සිටී. ඊට අමතරව අර ජායා පිටපත් කරන තරුනයාය.
     පැයකට පමන පසු මට පෙර සිටි මිනිසා දොර අසලය ඊළග වාරය ඔහුටය. තව කෙනෙක් එළියට පිටව ගියද මෙවර අර තරුණයාගේ ඊලග කෙනා එන්න කටහඩ ඇසුනේ නැත.ඒ වෙනුවට ඇතුලේ උන් කාන්තාවකගේ කට හඩ යම් පමනින් ඇසුනි. 
       ඒ අපට කතා කිරීම නොවේ ඔවුන්ගේ කතාවක්‍ ය. අනුන්ගේ කතා ඇසීම කැත පුරුද්දකි නමුත් මගේ කණ අර කතාවට යොමු විය. බලන්නකො මිස් ඊයෙ රෑ අපිට නින්දක් නෑ නෙ . තවත් කෙනෙක්ගෙන් ඒ මොකද කුමුදු මිස් යන හඩය , අපේ ලේන් එකම නිදි නෑ, කට්ටියම අපේ අල්ලපු ගෙදර, අර ජායා පිටපත් තරුනයාගෙ කට හඩ පිට විය, මොකද මැඩම් උනේ... පාන්දර 3ට විතර ඇති අපේ අල්ලපු ගෙදරින් කෑ ගැහිල්ලක් ආවා හොරෙක් ඇල්ලුවෝ හොරෙක් ඇල්ලුවෝ කියලා,අපිත් ඉතින් ඒ ගෙදරට දිව්වා,යනකොට අපේ ලේන් එකම එතන, පස්සෙ අපේ මහත්තයයි තව පිරිමි දෙතුන් දෙනෙකුයි ගේ ඇතුලට ගියා, පොලු එහෙම අරන්, අපි ගෑනුත් එයාලා පස්සෙ ගේ ඇතුලට ගියා, ගෙදර කෙල්ලගෙ කාමරේ ඇද යට එකෙක් යට ඇදුම පිටින්, තව කාන්තාවකගේ කට හඩ ඇසුනි ආ කුමුදු මිස් හොරු යට ඇදුම් පිටින්....කෙල්ලගෙ තාත්තා පොල්ලක් අරන් එළියට වර කිය කියා කෑ ගහනවා කෙල්ල අනේ තාත්තේ එයාට ගහන්න එපා කියලා අඩනවා, බලන්නකො අද කාලෙ හැදෙන කෙල්ලන්ගෙ හැටි, ඕකි ඉන්නෙ නම් 1000 ගනන් කරන්න බැරි ගානට පාරෙ යන්නෙ ගල් අහුලන්න වගේ බිම බලාගෙන, පන්ති යනවා කියලා රෝන්දෙ ගහනවා මගෙ ඇස් දෙකටම දැකලා තියනවා මම ඉතින් මහ උන්දැට ඔව්වා කීවෙ නෑ, කීවා නම් උන්දෑ කියන්නෙ අපේ දුව එහෙම නෑ හරි හැදිච්ච දරුවා, ඔය හැදිලා තියෙන්නෙ එකෙක් ගේ ඇතුලට දාගෙන ගෙදර තව මිනිස්සු ඉන්නවා කියලා බලන්නෙත් නැතුව. ලස්සනට තියෙන්න ඇති නේ මිස් නොමිලේ පිචර් එකක්... අනෙක් තරුන පිරිමි කට හඩින් මට ඇසුනි.
       මා අසල උන් මිනිසා දෙස බලන කොට ඔහුද මේ ඇතුලේ කතාවට කන් දීගෙන සිටින බව මට දැනුනි. ඉතින් මිස් ඊළගට මොකද උනේ, අපේ මහත්තයලා එකතු වෙලා අර කොල්ලව එලියට ගත්තා, බලන්නකො මූ එළියට ආවා මකුණු දැල් දූවිළි නාගෙන, ඌ අඩනවා අනේ ගහන්න එපා මම හොරෙක් නෙමේ කිය කියා, අපේ අල්ලපු ගෙදර අම්මණ්ඩි කෙල්ලව බෙල්ලෙන් අල්ලන් මරන්න හදනවා තෝ අපේ පවුලේ දැළි ගෑවා කිය කියා, මහ මිනිහයි කොල්ලයි අරූට ගහන්න හදනවා, අපේ මහත්තයලා 119 කතා කළා පොලිසියට බාර දෙන්න අරූට ගහන්න නොදී .. 
     බලන්නකො මිස් අද කාලෙ මුන් හැදෙන හැටි අපේ කාලෙ නම් අපිට කොල්ලෙක් තියා අපේ අම්මලා අපිට ගෙදරින් එළියට යන්න දුන්නෙ නෑ, අනෙක් කටහඩවල් ඇසුනද මට පැහැදිලිව ඇසුනේ මේ කතාව පමනි.         
කෙටි නිහඩතාවයත් සමග ජායා පිටපත් කොලුවාගේ කට හඩ අවදි විය ඉතින් මැඩම් පොලිසිය ආවද, ඔව් පැය බාගෙකට පස්සෙ ආවා, මහ මිනිහා පොලිසියට විස්තරේ කීවා, පස්සෙ පොලිස් කාරයෙක් අරූගෙ බෙල්ලෙන් අල්ලලා මොකටද තෝ ආවෙ කියනකොට මූ කිවුවා නෙ කෙල්ලව පෙන්නලා මෙයයි මට එන්න කිවුවෙ , මම හොරෙක් නෙමේ මෙයා එක්ක යාළු වෙලා ඉන්නෙ කියලා... මහ අම්මණ්ඩි සද්ද නෑ හොද වැඩේ අලි ඔලුවෙන් උන්නෙ ඔය ගෑණියි දුවයි. ඔය කෙල්ලව ඉතින් ඒ කොල්ලටම තමා දෙන්න වෙන්නෙ නේද කුමුදු මිස් තව ගෑණු කට හඩකින් ඇසුනි. නැතුව මමත් මහ අම්මණ්ඩිට කිවුවා ඔන්න ඔය කොල්ලා ගැන හොයලා බලලා මොකක් හරි කරලා දාන්න කියලා දැන් කෙල්ලව ගෙදර තියන් ඉදලා කාට දෙන්නද...මහ අම්මණ්ඩි සද්ද නෑ රැස් බැහැලා කියා හිනා හඩක් ඇසුනි...කොල්ලගෙ ඇදුනුත් අන්දවන් පොලිසිය අරන් ගියා ජීප් එකේ දාගෙන , උදෙන්ම අල්ලපු ගෙදර අයටත් පොලිසියට එන්න කියලා... උදේ ඒ පැත්තෙන් සද්දයක් නෑ දැන් ඉතින් මුලු ගමම දන්නවා රෑ උනු නාඩගම..කට්ටිය පොලිසියට යන්න ඇති මොනා උනාද දන්නෙ නෑ හවස ගෙදර ගියාම හොයලා බලන්න ඕනා මොකද උනේ කියලා....
        කෙටි නිහඩතාවෙකින් පසු මා අසල උන් මිනිසා මා වෙත ළං වී ඔහුගේ කට හඩ අවදි විය.... ඔය ලොකු නෝනා අපේ ගමේ ස්කෝල මහත්තයගෙ දුව, මීට අවුරුදු 20 , 25 ඉස්සල්ලා එයාව ස්කෝල මහත්තයලා හොයා ගත්තෙ ගේ පිටිපස්සෙ ළදු කැලෑවක ඉදලා කොල්ලෙක් එක්ක, පස්සෙ ඒ කොල්ලටම දීග දුන්නා හොක් හොක් හොක්..... ඊලග කෙනා එන්න.......මා අසල සිටි මිනිසා ඇතුල් වෙනකොටම ආ සෝමසිරි අයියා දැකපු කල් එන්න වාඩි වෙන්න මොකද මේ පැත්තෙ.....
           (නම්,ගම් මනංකල්පිත වේ...සීන් එක ඇත්තවේ)

Friday, November 18, 2016

සුබ ගමන් මිතුර..

ආදරණීය ප්‍රංකෝ මහත්මයා වෙත..
උබෙන් කොහොමද අහන්න මට පුලුවන් කමක් නෑ, මේ වෙනකොට උබ ඇත්තෙ ජේසු ලග, උබ වගේ නියම මහත්මයෙක් උබ විශ්වාස කරපු ආගමේ හැටියට ට්‍රාන්සිට් නැතුව ජේසු ලගටම යන්න ඇති,ගිය 7 වෙනිදා උබ මේ ලෝකෙන් අයින් වෙලා යන්න ගියා, සරල අවමගුල් උත්සවයක් එක්ක පල්ලියෙ පූජාවෙන් පස්සෙ උබට උබේ පවුලෙ සොහොනට යන්න නම් බැරි උනා,අපි අද තමා සොහොනට ඇතුල් කලේ උබ දැන් සදහටම සාමයෙන් සැතෙපෙනවා.
උබට මතකද මන්දා මීට අවුරුදු 4 විතර ඉස්සර මම උබ ලගට වැඩට ආපු හැටි, එතකොට උබ හොදටම අසනීප වෙලා උන්නෙ. වයසක මනුස්සයෙක් බලා ගන්න මට කිසිම අත්දැකීමක් තිබ්බෙ නෑ,මට ආසාවක් තිබ්බෙත් නෑ,ඒ වෙනකොට මට ජොබක් තිබ්බෙත් නෑ,මම හිතුවෙ උබ තව මාස 3 වඩා අදින එකක් නෑ කියලා ඉතින් මම උබ ලගට වැඩට ආවා, හැබෑ උබ ඉක්මනින්ම ගොඩ ආවා,මගෙයි උබෙයි දෙන්නගෙම වාසනාව,ටික දවසකින්ම මට තේරුනේ උබ හරි අපූරු මනුස්සයෙක් කියලා,මම දන්නෙත් නැතුවම මම උබටත් උබ මටත් ලං උනා. හරි අපූරු යාලුකමක් අපි දෙන්නා අතර ඇති උනා,උබ තමා මට මේ ලෝකෙ හමුබුනු වයසකම යාලුවා,ඒ යාලුකම මගෙ ජීවිතේට අමතක වෙන එකක් නෑ.
උබෙන් මම ජීවිතේට ඉගෙන ගත්තු දේවල් බොහොමයි. ඉතිහාස කතා ඉදන් උබේ චරිතෙන් මම ඉගෙන ගත් දේ ගොඩයි, මම මේ ලෝකෙ දැකපු නියම වැදගත් මහත්මයෙක් උබ, ආයෙ එහෙව් මනුස්සයෙක් දකින්න ලැබෙයිද මන්දා මේ සමාජෙ.
මතකද උබ දෙවනි ලෝක යුද්ද ගැන කියාපු කතා, උබ යුද්දෙට අකමැති මිනිහෙක්, ටීවී එකේ යුද නිව්ස් යනවා නම් උබ හැමදාම දුක් උනා ඇයි මිනිස්සු මෙහෙම මරාගන්නෙ කියලා උබ තනියම කියෙව්වා.ලෝක යුද්දෙට උබට යන්න බැරි උනේ උබේ අයියා හමුදාවට ගිය නිසා කියලා උබ කීවෙ, උබ ඒ කාලෙ ගොඩක් අමාරුවෙන් ඉගෙන ගත්තා කියලා කීවෙ. යුද්දෙ ඉවර වෙනකොට නට්ටන් උනු ඉතාලිය ගොඩ දාන්න මහන්සි උනු මොළ කාරයො උබලා, ඒ උබ ආර්ථික විද්‍යා ඔස්තාර් කෙනෙක් නිසා. බැංකුකරුවෙක් , ආර්ථික විද්‍යා මහාචාර්‍යවරයෙක් විදිහට උබ ඒ කාලෙ මේ රට ගොඩ දාන්න ගොඩක් මහන්සි වෙන්න ඇති.
           හැබෑ ලොක්කා අන්තිමෙට උබට ඩොක්ටර් කියලා කතා කරන්න මම විතරයි ඉතුරු උනේ.ඒ මේ ලෝකෙ හැටි බන් වයසට යනකොට අපි සේරම අවලංගු කාසි,ඒත් උබට රජයෙන් ලොකු පෙන්ශන් එකක්. ගොඩක් පහසුකම් දීමනා ආවා.නිකන් බේත් ටිකේ ඉදන්,ගිය අවුරුද්දෙ උබ අසනීප උනු වෙලේ එහෙම ආපු ඉන්ජෙක්ශන් 4 නිසා උබ ආයෙ නැගිට්ටා, ඒත් ඒ බේත් මේ අවුරුද්දෙ දෙපාරක් ගහලත් වැඩ කලේ නෑ බන්. අන්තීම මාස 6 උබ රෝද පුටුවට වැටුනා. මම උබ එක්ක ලස්සන කට්ටක් කෑවා.ගිය අවුරුද්දෙ උබේ මතකය ඔහොම්ම නැති උනා,අන්තිමට උබේ වයසවත් මතක නැති උනා නෙ. ඉන්දියාවෙ යට තියන සිලෝන් රටේ කොල්ලගෙ නම උබට මතක තිබුනා හැබැයි,උබ සතියකට සැරයක් වත් උබේ රට කොහෙද කියලා මගෙන් අහලා උබම ආ සිලෝන් රටින් නේ කියනකොට මම ශ්‍රී ලංකාවෙන් කියද්දී ආ ඔව් නෙ දැන් ඒ නමනෙ කියන්නෙ කියලා හයියෙන් හිනා උනු හැටි මට අමතක වෙන්නෙ නෑ.
        වයස 92 උනූ උබෙ  අවුරුදු 56 ගෙව්නු විවාහයත් මරු. උබේ ගෑනි රණ්ඩු කරලා අවසානෙ ගහන එකම තුරුම්පුව උබ මගේ ගෙදර ඉන්නෙ මේ මගෙ තාත්තා දීපු ගේ කියන කොට උබ පූස් පැටියෙක් වගේ සයිලන්ස් උනා.ගෑනි ගියාට පස්සෙ උබ දුන්නු උපදෙස මට අමතක නෑ. ගෑනිගෙ ගෙදරක නම් පදිංචි වෙන්න එපා උබ, පේනවනෙ මට උනු දේ කියලා උබ හයියෙන් හිනා උනා.ඒත් උබ ගෑනිට මාරෙට ලව් කලා මම කියනකොට අද උබේ ගෑනිගෙ උපන් දිනේ කියලා උබ ඉක්මනින් ගිහින් කිස් එකක් දීලා විශ් කරපු හැටි මරු.
          මේ මළ උන්ගෙ නොවැම්බර් මාසෙ මම හිතුවෙ සමර් ඉවර වෙනකොට පහු ගිය සැරේ වගේ උබ ආයි නැගිටී කියලා.ගිය 5 සෙනසුරාදා රෑ උබ මාත් එක්ක පිචර් එකක් බැලුවා ටීවී එකේ. උබ ඒ සතියෙම උබ නිදාගත්තෙ නෑ රෑට. අමුතු හැසිරීමක් පෙන්නුවෙ,කවුද දන්නෙ උබ යන්න ලෑස්ති වෙනවා කියලා.එදා රෑ උබ මට කතා කරලා ඇදේ ඉදන් මොනාද පෙන්නුවා කීප වතාවක්ම.මොනා පෙන්නුවද කියලා මට තාම තේරෙන්නෙ නෑ. මම ඉරිදා උදේ උබට බොහොම අමාරුවෙන් කිරි චුට්ටක් කටට දැම්මා.උබ ඉතින් ඒ සතියෙ විකාර නැටුවා නෙ කන්න දෙනකොට,මම බාගෙට මැරිලා උන්නෙ මහන්සියට. උබ ඉරිදා රෑ යනවා කියලා දන්නවා නම් මම ගෙදර යන්නෙ නෑ.උබ හෙට හමුවෙමු කීවට සදුදා පාන්දර කෝල් එක ආවෙ උබේ පුතාගෙන් උබ ගියා කියලා.අන්තිමේ උබේ මළ සිරුරට ලස්සන කෝට් කිට් එකක් අන්දන්නත් උනා.අවසානෙ ඒ අත්දැකීමත් මම ගත්තා.
ඉතින් යාලුවා උබත් එක්ක ගෙවපු වසර 4 මගේ ජීවිතේ අමතක නොවෙන කාලයක්. නියම මිතුරෙක් මට නැති උනා. උබට සුභ ගමන් යාලුවා..Ciao Mio Amico...

Wednesday, May 4, 2016

ඉතාලියේ ලාංකීය පාසල්

ලියන්නෙ නැතුව ඉන්න කට්ටියම බ්ලොග් වසන්තයද මොකද්ද පටන් අරගෙන හි‍ටු කියලා පෝස්ට් එනවා මටත් ඔන්න එතකොට මතක් උනා මගෙත් වේලෙන බ්ලොග් එකක් තියනවා නේද කියලා,බ්ලොග් එක තියනවද බලනකොට ඒකට ගිය මාසෙ අවුරුදු 6ක් වෙලා,ලැජ්ජාවෙ බැරි අවුරුදු 6 ටම පෝස්ට් 99 ලියවිලා තියෙන්නේ,ඔන්න මේක 100 පෝස්ට් එක එහෙනම්..
   මගෙ බ්ලොග් එකේ ඉතින් ඉතාලි තොරතුරු නෙ ගොඩක්ම ලියවෙන්නෙ, මේ පෝස්ට් එකත් එහෙම එකක් තමා ලියන්න හිතුවෙ,ඉතාලියෙ මෑත කාලෙ ඉදන් ලංකාවෙ මිනිස්සු පටන් අරගෙන තියන බිස්නස් එක තමා ඉතාලියෙ ජීවත් වෙන ලංකාවෙ ළමුන් සදහා ජාත්යන්තර පාසල්, ඉංග්‍රීසි සහ සිංහල ලංකාවේ සිරිත් විරිත් අනූව ළමයිව ලොකු කරන්න බලාපොරොත්තුව ඇතිව කකුල් දෙක රටවල් දෙකේ තියන් ඉන්න මිනිස්සුන්ව ඉලක්ක කරගෙන තමා මේ ලංකාවේ පාසල් ‍රැල්ල දුවන්නෙ.
   ඉතාලියෙ ඉන්න බහුතර පිරිසක් සල්ලි හම්බ කරන ගමන් දරුවන්වත් ඉතාලියෙම තියන් ඉන්න ගමන් යම් දවසක ලංකාවට යෑමෙ බලාපොරොත්තුවෙන් ඉන්නෙ, එක අතකින් ඒක ඒ දෙමාපියන්ගෙ ආසාවක්, ඒ එක්කම යම් පිරිසක් හිතන් ඉන්නවා මෙහෙ ඉතාලි ළමුන් එක්ක ඉතාලි සිරිත් විරිත් එක්ක බටහිර ක්‍රමේට ජීවත් උනාම අපේ ළමයි දෙමාපියන්ගෙන් ඈත් වෙලා ලංකාව අමතක කරයි කියලා..ඉතින් මේ සිතුවිලි අදුන ගත්තු පිරිසක් සිංහල හා ඉංග්‍රීසි උගන්නන පාසල් පටන් ගත්තෙ..
       ඉතාලියෙ නීතියට අනූව මේ පාසල් වලට බලපත්‍ර නෑ, බොහෝ පාසල් කර ගෙන යන්නේ උපකාරක පන්ති පවත්වන ක්‍රමේකට, ඒ එක්කම උගන්වන ගුරුවරු බහුතරේකට කිසිම සුදුසුකමක් නෑ, කොටින්ම පාසල් ආරම්භ කරපු විදුහල්පති වරුන්ටත් කිසිම සුදුසුකමක් නැති අය, මේවා පටන් ගන්නෙ ලංකාවේ ටියුසන් පන්ති කරපු ගුරුවරු, ඉංග්‍රීසි භාශාව ඉගැන්වීම යම් සාර්තකත්වයක් පෙන්නනවා, මේ පාසල් කරගෙන යන අය මරු පොරොන්දුවක් දෙනවා ඒ තමා ළමයිව ලංකාවේ ඕනම පාසලකට ළමයා ඉන්න ඕන පන්තියටම ඇතුලත් කරන්න පුලුවන් කියන එක,,එහෙම ඇතුලත් කරන්න උවමනා ලියකියවිලි දෙන්න පුලුවන් කියන එක. ඒත් ළමයිව ලංකාවට ගෙනියලා එහෙම ඇතුලත් කරන්න ගිහින් බැරි වෙලා පාසල් වලට ඇවිල්ල අර ගුරුවරුන්ගෙ අම්මලාව මතක් කරපු අවස්තාත් තියනවා.
               දෙමාපියන්ව මෙහෙ සේප් කරන්න නම් ඉංග්‍රීසිය ගොඩ දාන එකයි,කේම්බ්‍රිජ් විභාග සෙට් එකයි සහතික පෙන්නන එක නම් කරනවා, ඉතින් දෙමාපියො සේප්. ඒත් ඉතින් මම නම් මේ පාසල් ක්‍රමය අනුමත කරන්නෙ නෑ, පෙනෙන විදිහට අවසානෙ මේ දරුවන්ට ලංකාවෙවත්, ඉතාලියෙවත් නිසි ඉගෙනුමක් ලැබෙන පාටක් නම් නෑ.කකුල් දෙක දෙපැත්තෙ තියාගෙන අවසානෙ මේ දරුවන්ගෙ අනාගතේ විනාශ කිරීමක් තමා පේන්න තියෙන්නෙ..
ඉතාම ඉහල අධ්යාපන ක්‍රමයක් තියන ඉතාලි පාසල් වලට ගිහින් අපේ දරුවන් ඉහල දක්ශතා දක්වපු අය ඕනා තරම් ඉන්නවා,,දරුවන් නොමග යන එක මම දකින්නෙ දෙමාපියන්ගෙ අතින් වෙන වරදක් විදිහට,ඒත් ගොඩක් දෙමාපියො හිතන් ඉන්නේ දරුවන්ව මෙහෙ පාසල් වලට යැවීම ඉතා බරපතල දෙයක් විදිහට,සමහර අය නම් උදේට ඉතාලි පාසල් යවලා සවස ඉංග්‍රීසි ඉගෙන ගන්න මේ පාසල් වලට යවනවා,,ඒකෙ නම් වරදක් දකින්න නෑ,
           මේක තවත් එක් බිස්නස් එකක්,පහු ගිය මාසෙ නාපෝලියෙ පොලිසිය විසින් මෙවැනි පාසල් කීපයක්ම වසා දාලා තියනවා,,කලාතුරකින් යම් බලපත්‍රයක් ලබා ගත්තු පාසල් කීපයක් ඉතාලියෙ නොතිබෙනවා නොවෙයි,,ඒවා යම් පිලිවෙලකට සිදු වෙනවා,ඒත් බහුතරය හතු පිපෙන්නා සේ බිහි උනු පාසල් වල තත්වය ඉතාම කනගා‍ටුදායකයි,මේවට ඉතාලි ජාතිකයින් එන්නෙ නෑ නිසා නීතියෙන් පස්සෙන් පන්න පන්නා බැලීමක් වෙන්නෙත් නෑ.
ඒ වගේම ඉතාලි පාසල් වලට යවා ඉන් පසු මේ පාසල් වලට යවපු ළමයින්ව එයාලගෙ ‍රැදී සිටීමේ බලපත්‍ර අලුත් කිරීමේදී විශාල ගැටලු වලට මුහුන පාන්න දෙමාපියන්ට සිදු වෙලා තියනවා,ඒ එක්කම දරුවන්ව පාසල් යවන්නෙ නෑ කියලා නීති මගින් අනතුරු ඇගවීම් පවා සිදු වෙලා තියනවා.
ඔන්න ඔහොමයි ඉතාලියෙ ලංකාවේ පාසල් වල කතාව....

Wednesday, January 13, 2016

wow.lk නිරුවත...


අන්තර්ජාලයෙන් මිලදී ගැනීමකට ගොස් අකරතැබ්බයකට මුහුන දුන් මාගේ හිත මිතුරෙක්ගේ කතාව..


wow.lk නැමැති පාරිභෝගියකයින් මුලාකරන ආයතය වෙත ලියමි,
2015 දෙසැම්බර් මස 14 වෙනි දින මුදල් ගෙවූ අංක 109141554 ඇණවුම සම්බන්ධවයි.
දින පහකින් නිවසටම ගෙනැවිත් දීමට පොරොන්දු වී 2015 දෙසැම්බර් මස 14 දින මාගෙන් මුදල් ලබාගත් ඔබ ආයතනය මෙතෙක් මා වෙත ඇණවුම භාර දී නොමැති බව දන්වන්නේ ඔබ ආයතනයේ මහඟු සේවාව අගයමිනි. එමෙන්ම ඔබ අද උදෑසන මා හට ඇමතුමක් ලබා දී මා ඇණවුම් කළ භාණ්ඩය stock එකේ නැති බව කීම මාගේ මහත් පුදුමයට හේතු වූයේ "Your Order has been Shipped" ලෙස සඳහන් කරමින් ඊමේල් පණිවිඩයක් ඔබ ආයතනය මගින් 2015 දෙසැම්බර් 28 වෙනි දින මා හට එවීම නිසාවෙන් (එම ඊ මේල් ලිපියේ ඡායාරූපයක් මේ ලිපිය සමඟ අමුණා ඇත.) මෙන්ම ඔබ ආයතනයට ලබාදුන් දුරකතන ඇමතුන් 10න් 5කම පමණ පැවසුවේ මාගේ ඇණවුම තව දින දෙකක් තුල ලැබෙන බව නිසාවෙනි.
මා අද දින ඇණවුම අහෝසි කර මුදල් ඉල්ලූ නමුත් තව මාසයකින්වත් ඒ මුදල් මගේ ගිණුමට බැර වේදැයි මට සැක සහිතය. එමෙන්ම ඔබ ආයතනයේ facebook පිටුවේ තිබූ Customer Reviews ඉවත් කර පාරිභෝගිකයන්ගේ අදහස් දැක්වීම් වලට අපමණ අගයක් ලබා දීම සම්බන්ධයෙන්ද ඔබ ආයතනයට මම ස්තූතිවන්ත වෙමි. තවද මා මෙන්ම තව දහස් ගණනක් පාරිභෝගිකයින් රවටමින්, අපහසුතාවයට පත් කරමින් තව බොහෝ කාලයක් ව්‍යාපාර කිරීමට ඔබ ආයතනයට හැකිවේවායි මම පතමි.
ස්තූතියි,
මීට,
යලි කිසි දිනෙක ඔබ සමග ගනුදෙනු නොකරන
පාරිභෝගිකයෙක්...
ප.ලි : මේ ආයතය මඟින් තව බොහෝ දෙනා මෙලෙසම රවටා ඇති බව ඔවුන්ගේ Visitor Posts බැලූ විට පැහැදිලි වෙයි. මෙලෙස පාරිභෝගිකයින් රවටන මෙම ආයතයනට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට හැකියාවක් වේනම් ඊට ඕනෑම සහයක් ලබාදීමට කැමැත්තෙමි.
Poorna Sanjeewa's photo. 
  මෙලෙස පාරිභෝගිකයන් රවටන මෙවැනි ආයතන පිළිබද දැනුවත් කිරීම සදහා මෙම පෝස්ට් එක මිතුරාගේ අවසරයෙන් පල කරන ලදි.

Monday, November 30, 2015

පොලිස් නිශ්කාශන සහතිකයේ කතාව - Sri Lanka Police Clearence Riport



ශ්‍රී ලංකා පොලෝසියෙන් මට ලබා ගන්න සිදු උනා ඉතාලියට ඉදිරිපත් කිරීම සදහා පොලිස් නිශ්කාශන සහතිකයක් හෙවත් සිංහලෙන් කිවුවොත් පොලිස් ක්ලියරන්ස් රිපෝර්ට් එකක්. ඉස්සර ඉතින් ඕක ගන්න කොලබ දුවන්න උවමනාවක් තිබ්බෙ නෑ නේ ඒක අපූරුවට ගමේ පොලෝසියෙන්ම ලබා ගන්න පුලුවන් කම තිබ්බා,ඒත් ඉතින් මොකාද මන්දා බූරුවෙක්ගේ තීරනයක් නිසා ඒක ගන්නත් කොලබ ගාටන්න වෙලා, මමත් ඉතින් පහු ගිය අගෝස්තු මාසේ ලංකාවට ගිය නිසා ඒක ගන්න අයදුම් කරන්න කොලබ ගියා, උදෙන්ම ගියත් ඉතින් දිග පෝලිමක් එතන බහුතරය පිට රට රස්සා වලට යාමට බලාපොරොත්තුවෙන් පොලිස් වාර්තාව ගන්න ආපු අය.
මම ඉතින් ඒක ඉල්ලූම් කිරීමේ අයදුම්පත අපේ පොලෝසියේ ජාල සයිට් එකෙන් ඩවුන්ලෝඩ් කරලා ගෙදරින්ම පුරවන් ගියේ,, උවමනා ලියකියවිලිත් එක්කම.එතන තිබ්බ අයදුම්පතේ උපදෙස් අනූව මම ඒක පුරවලා දැම්මා එතන තව පි‍ටුවක් තිබුනා විවාහකයෙක් නම් පුරවන්න කියලා,,මම ඉතින් තාම සින්ගොල් මනුස්පයා නිසා ඒක අතෑරලා දැම්මා,
ඔන්න මම පෝලිමේ ඉදගෙන ඉන්නවා, ඔතන ඉන්න රාලහාමි කෙනෙක් ඔය අයදුම්පත් පරීක්ශා කරනවා,,මුන්දෑ මගේ එකත් පරීක්ශා කලා.මෙන්න කියාපි මේකෙ කොලයක් අඩුයි කියලා,,පොර මට අයදුම්පතක් දීලා  ඔන්න මේක ආයේ අලුතෙන් පුරවන්න කියාපි, මම අතට අරන් බලනකොට අර මම ගෙදරදි අතෑරපු විවාහකයෙක් නම් පුරවන්න තියන කොලෙයි මුන්දැ මට පුරවන්න කියන්නේ,,මම ඉතින් කිවුවා මම තාම ඒ අමාරුවෙ වැටිලා නෑ කියලා,, ඔන්න මුන්දැ රවලා කියනවා නෑ නෑ ඔය කොලෙත් ඕනා ඒකත් අමුනලා අලුතෙන් පුරවලා ඒ කොලේ යටින් අස්සන දාන්නය කියලා,,මමත් ඔය ආයේ කියවන්න ගියෙ නෑ අර කොලේ මට පුරවන්න මුකුත් නෑ ඒ යටින් අස්සන දාලා දුන්නා.රුපියල් 500ක් එක්ක,රෙජිස්ටර් තැපෑලෙන් ගෙදරට එන්න නිසා රු.40 මුද්දරයක් එක්ක කවරෙකුත් එක්ක.
හා ඉතින් ඕක අයදුම් කරලා සති 2ක් බැලුවා සද්දයක් නෑ,එයාලා නම් කිවුවේ සති 2න් ඒවි කියලා,,කෝ මේක නෑ,මමත් ඉතින් තව සතියක් බලලා කොලබට කෝල් කලා,,මෙන්න එහෙන් කියාපි ඔයාගෙ ගමේ පොලෝසියෙන් උවමනා ලියකියවිලි තාම නෑයි කියලා.
මම ඉතින් පහු වෙනිදම ගියා අපේ ගමේ පොලෝසියට,පලවෙනි දවසෙම හරවලා එවුවා ඒවා කරන රාලහාමි නෑය කියලා,,දෙවෙනි දවසෙ ගිහින් ඉදන් උන්නා මෙන්න වෙන උන්දෙක් මගේ කාරනාව අහලා ඇතුලට එක්කන් ගියා,මුන්දැ කියපි මේවා බාරව ඉන්න රාලහාමි ගොයියා රගර් කීඩකයෙක්ය පොර රගර් ගහන්න ගිහින්ය කියලා.පොර රගර් ගහලා ආවම තමා මේවා ආයේ කරන්න වෙන්නෙ කියලා,,මුන්දෑ හා බලමු ඔයාගෙ කොලබින් ආපු ලියමන තියේද කියලා මේසෙ උඩ හොයන්න ගත්තා,,ඔන්න අස්සක තිබිලා ඒකත් හොයාගෙන,,අර රගර් උන්දගෙ මේසෙ පයිල් එකකට දාලා හා එහෙනම් සතියකින් එන්නකෝ අපි මේක කරලා දෙන්නම් කියලා මාව හරවල එව්වා.සතියක් ගෙවිලා පහු වෙනිදම මට ආයේ ඉතාලි එන දවස,ඔන්න උදෙන්ම මම පොලෝසියෙ,ඔන්න එදත් කියාපි රගර් ගොයියා රගර් ගහන්න කුරුනෑගල ගිහින්ය ආවම තමා මේවා කරන්නෙ කියලා.ඔන්න මාසෙම ගියා අර ගොබිලා රගර් ගහන්න,,මම ඉතින් අපේ නෑයෙක්ට රිසිට් එක දීලා ඉතාලි ආවා.
එයත් කීපවතාවක්ම රස්තියාදු උනා මේ වැඩේට ඒත් නෑ රගර් කතයි අර කතයි මේ කතයි.වැඩේ රබර් වෙනවා.
ඔය අතරේ තමා මට හිතුනේ පොලෝසියේ ලොකු උන්නැහේට ලියමනක් ලියන්න මගේ වැඩේ රබර් වෙන්නෙ මොකෝ කියලා අහලා.ඒකට ලියමනක් ලෑස්ති කරලා රෙජිස්ටර් තැපෑලෙන්ම ලියමනක් දැම්ම,කෝ ලියමනත් සෑහෙන්න රබර් උනා,,ඒකට තමා මම ඉස්සල්ලා බ්ලොග් පෝස්ට් එක ලිවුවේ,,අපේ රටේ තැපෑලේ වේගවත් බව ලියලා.
ඔය අතර කී පාරක් කොලබට කෝල් කලාද,,මගේ යෙහෙලියක්ව දම්මවලා,, මොකෝ මට මෙහෙ ඉදන් ඕවට කෝල් ගන්න වාත වෙන්න වෙලාවයි සල්ලි නාස්තියයි දෙකම නිසා,,අනික ඉතින් කාන්තා කටහඩකට වැඩක් කර ගන්න ලේසි නිසා, මොන ඒ හැම පාරම ඒ කෙලී කිවුවේ එතන ඉන්න එකාලා දංකො‍ටුවෙ පොලෝසියෙන් ලියමන නෑ ඒ අතරේ ඔහොම ඉන්න කියලා වෙන කෝල් ඔය වගේ කතා තමා.
ඔන්න අර ලියමන පහු ගිය මාසේ 30 වෙනිදා වේගවත් දවස් 8 ගමනකින් දංකො‍ටුවේ පොලෝසියට ලගා වෙලා,,පහු වෙනිදා උදෙන්ම පොලෝසියේ ලොකු තැන මට ලංකාවේ ඉදන්ම කෝල් කරපි,මම අර ලියමනේ මගේ පෝන් නම්බරෙත් ලියලා තිබ්බෙ,,මුන්දැ කියපි සමාවෙන්න ඔන්න අපි ඔයාගෙ වැඩේ අදම කරනවා බලන්නකෝ කොලබින් කොලයක් අඩුවෙන් නෙ එවලා තියෙන්නේ ඒක අපි ගෙන්න ගත්තා ආයේ අදම පැක්ස් කලාය කියලා.මමත් ඉතින් පුල් හැපි එකේ මාස 3ට පස්සෙ නේ,,
ලංකාවේ ගෙදරටත් කියලා තිබ්බා ලියමන එයි පොඩ්ඩක් බලන්න කියලා,,මෙන්න බොලේ සතියක් ගියා තාම නෑ,ඔන්න මම අර කෙළීට ආයේ වාත උනා කෝල් කරන්නය කියලා,උන්දෑ ආයේ දවස 2ක්,3ක් උත්සහ කරලා අර කට්ටියගෙන් අහගෙන තිබ්බා ගමේ පොලෝසියෙ ලියමන තාම ආවේ නැය කියලා,කවුරු ඇත්ත කියනවද කවුරු බොරු කියනවද කියලා හිතා ගන්න බෑ,
ඔන්න මම ආයෙත් දංකො‍ටුවට කෝල් කලා,එහෙන් කියාපි අපි  පැක්ස් කලාය,,ඔය මිනිස්සු වැඩක් කරන්නෙ නෑය එතකොට ඔහොම කියලා බේරෙනවය කියලා,,පොර කියපි කමක් නෑ අපි එහෙනම් අදම ආයේ පැක්ස් එකක් යවන්නම් කියලා,,මම ඉතින් ස්තූතී කරලා වැඩේ අමතක කරල දැම්මා තවත් මේක පස්සෙ පන්නලා තේරුමක් නෑ වගේ දැනුනු නිසා..
අතෑරලා දාපු නිසාද කොහෙද අර කෝල් එකෙන් දවස් 10 පස්සේ ඔන්න මගේ පොලිස් නිශ්කාශන සහතිකය ගෙදරටම ආවා මාස 4ට විතර පස්සෙ.

මෙච්චර දියුනු තාක්ශනයක් තියන කාලේ මේ වගේ පොඩි දෙයකට සල්ලිත් අරගෙන කාලේ නාස්ති කරන්නේ මොකටද කියන එක ලොකු ප්‍රශ්නයක්.අපි හිතමු දවසට මිනිස්සු 100ක් ආවා කියලා,රු 500 ගානේ කීයක් එකතු වෙනවද,ඒ කරලත් කාර්යක්ශම සේවයක් ලබා දෙන්න මේ මිනිස්සු උනන්දුවක් නෑ.එක්කෝ ඉස්සර වගේ ගමේ පොලිසියෙන්ම මේක ලබා දෙන්න ඕන අර රු 500 අරගෙනම.
මේ මිනිස්සු අඩුම තරමින් දුරකතන ඇමතුමකට පිලිතුරු දෙන්නවත් සූදානම් නෑ,අනික් එක ඒකට ඇමතුමක් ගන්නවා කියන්නේ ලොතරයියක් සූරලා ජයග්‍රහනය කරනවා වගේ දෙයක්.මෙවැනි සුලු දේවලුත් නූල් බෝලයක් පටලලා වගේ අවුල් කරන දෙපාර්තුමේන්තුවකින් ජනතාවට ඉහල සේවයක් අපිට කවදා ලබා ගන්න හැකි වේවිද?

Sunday, November 22, 2015

ශ්‍රී ලංකා තැපැල් සේවය / Sri Lanka Post




ශ්‍රී ලංකා තැපැල් සේවය ලෝකයේ ඉතා පැරණි තැපැල් සේවයක් ,ආරම්භක ඉතිහාසය 1882 දක්වා දිව යනවා,අද 2015 වෙද්දී ලෝකෙ තැපැල් සේවය ඉතා දියුනු අඩියක තිබෙන්නේ,මම මේ පෝස්ට් එක ලියන්න හිතුවේ අපේ රටේ තැපැල් සේවය පෙනුමෙන් දියුනු වගේ පෙනුනට ඉතා මන්දගාමී තැපැල් සේවයක් බවට පත් වෙලා.
පහු ගිය දවසක මම ඉතාලියේ සිට ශ්‍රීලංකාවට රෙජිස්ටර් තැපෑල යටතේ ලියමනක් තැපැල් කලා,,ලියමනේ ලස්සන කතාවකුත් තියනවා ඒක ඊලග පෝස්ට් එකට ,,ලියමන මම සිටිනා නගරයේ සිට තැපැල් කලේ ඔක්තෝම්බර් 12 වෙනිදා කොටින්ම සවස 7 විතර සවස් යාමයේ වැඩ කරන තැපැල් ස්තානයකින්.මා සිටින්නේ දකුණු ඉතාලියේ නිසා දවස් 2ක් ගත වෙලා ලියමන මිලානෝ නගරයේ ප්‍රධාන අන්තර්ජාතික තැපැල් මධ්යස්ථානෙට ලගා වෙලා තියනවා.ඉන්පසු දවස 8ක් ගතවෙලා එය කොලබ ප්‍රධාන තැපැල් හුවමාරු මධ්යස්තානෙට පැමිනිලා තියනවා.
විහිලුම කතාව දැන් එදාම කොලබින් ලියමන ගමනාන්තය වෙන දංකො‍ටුවටත් පිටත් වෙලා,,ඒත් කොලබ සිට දංකො‍ටුවට මේ ලියමන එන්නෙ 30 සිකුරාදා ඔය කෙටි දුර එන්නත් දවස් 8 ගත වෙලා.
ඉතාලියේ තැපෑලක් අන්තර්ජාලයෙන් අපිට එය ලබන්න අතට පත් වෙනකන්ම පරික්ශා කර බලා ගන්න පුලුවන්කම තියනවා,,එය මට කොලබට ලගා වෙනකන්ම පෙන්නුවා,,ඒ වගේම අපේ රටේ තැපෑල් සේවයට අදාලව අන්තර්ජාල පරීක්ශාවත් බාගෙට පෙන්වනවා නමුත් ලබන්නාට අදාල කොටස නෑ,, ඔන්න පහල අපේ රටේ අන්තර්ජාල පරීක්ශාව මම ඉදිරිපත් කරලා තියනවා,

මෙය මාගේ පලමු අත්දැකීම නෙවේ,මා ඊබේ හරහා සෑහෙන ගණුදෙනු ප්‍රමානයක් කරලා තියනවා,,ඉතාලියට වගේම ලංකාවටත්,,මා ඉතාලිය වෙත ලබා ගන්නා භාන්ඩ උපරිම දවස් 20 ඇතුලත මා වෙතට පැමිනෙනවා.ඒත් ලංකාවට එන්න අඩුම මාසයක්වත් ගත වෙනවා,ඒ වගේම භාන්ඩ නැති වීම්,අතුරුදන්වීම් පවා සිදු වෙලා තියනවා,ඔය නිසාම ඊබේ වලින් අද අපේ රටට භාන්ඩ එවන්නෙ නැති විකුනුම්කරුවෝ බහුලයි.ඔන්න අපේ රටේ තැපෑලේ දියුනුව.
අද තාක්ශනය අනුව වේගවත් සේවයක් දෙන්න පුලුවන් කම තියනවා,,ඒත් ඉතින් අපේ රටේ තැපෑල ඉබි ගමනින් තමා තාමත් දුවන්නේ.